අදටත් අපේ වලව්වේ මේ අභිමානය තියෙන්නේ ඒ නිසා වෙන්න ඇති. කන්ද උඩරට සූරිය බණ්ඩාර වලව්ව කිව්වම නොදන්න කෙනෙක් නෑනෙ. අපේ අය කියනවා සුද්දා ගල විද්දේ නැත්තම් උඩරට නිළමෙලා, කුමාරිහාමිලා තාම කන්ද උඩම තමයි කියලා. වෙලාවකට මටත් හිතෙනවා සුද්දා ගල විද්දේ නැත්තම් හොදයි කියලා. එහෙනම් සමහර විට අපේ රට මීට වඩා වෙනස් වෙන්න තිබුණා.
මම මේ අපේ නුවර වලව්වට සීයා පප්පා බලන්න ආවේ සති දෙකකට විතර පස්සේ. අද උදේ ඉදලම වැස්ස. ඉර පායන පාටක් නම් පේන්න නෑ. ඒ කියන්නේ අද මාළිගාවේ යන්න වෙන්නෙත් නෑ. මොනවා කරන්න ද කියලා මම මේ කල්පනා කර කර හිටියේ මැද මිදුලට වැටෙන වතුර බිංදු දිහා බලාගෙන යි.
"මොනාද පුංචි බේබි කල්පනා කරන්නේ"
ඒ කටහඩත් එක්ක කල්පනා ලෝකෙන් ටිකක් මෑත් වුණ මම බැලුවේ සුමනම්මා දිහා. මම දන්න දවසේ ඉදලම සුමනම්මා හිටියේ මේ වලව්වෙම තමයි.
"සුමනම්මේ මම මේ බැලුවේ වැස්ස පායන පාටක් නෑ නේද කියලා. අද දවසත් මට මේ වලව්වේ තමා ඉන්න වෙන්නේ"
"නෑ බේබි හවස් වෙනකොට ඕක අඩුවෙලා යයි"
"සුමනම්මේ සීයා පප්පා ඇහැරල ද?"
"නෑ මයේ හිතේ පුංචි බේබි ඉන්න මම බලලා එන්නම්"
"නෑ නෑ සුමනම්මා ඉන්න. මම බලන්නම්"
"හොදමයි බේබි" එහෙම කියලා සුමනම්මා මට ඔළුවත් ටිකක් පහත් කරලා යන්න ගියේ හරි අපූරු හිනාවකුත් මුවේ තියාගෙන.
මේ වලව්වට ආපු හැම දවසකම සීයා පප්පගේ පරණ බඩු පුරවලා තිබුණ කාමරේ වැඩි වෙලාවක් ගත කිරීම මගේ පුරුද්දක් වුණා. ග්‍රැනී කියන විදිහටනම් ඒ කාමරේ බඩු පෙරලන එක, දැන් නෙවෙයි මගේ පුංචි කාලේ ඉදන් ම තිබුණ පුරුද්දක්ලු. උඩ තට්ටුවේ කෙළවරට වෙන්න දැඩි අදුරු ගතියෙන් පිරුණු කාමරේ පිරිලා තිබුණේ සීයා පප්පගේ පෙට්ටගම්වලින්. ඒවායින් සමහරක් මට උස්සනවා තියා හොල්ලන්නවත් බැරි තරම් බරයි. කොහොම වුනත් මම වැඩිපුර ම ආස කළේ සීයා පප්පගේ පුස්කොළ පොත් ටික බලන්න. සීයා පප්පා කියන විදිහට නම් මේවා පරම්පරා බර ගණනක් පැරණි පොත්ලු. මේවගේ මුළු කන්ද උඩරට රාජධානියේම ඉතිහාසය ලියවිලා තියෙනවලු. කොහොම වුනත් මේ පුස්කොළ පොත්වල නිධන් විස්තර, පෙරහැර විස්තර, ඉඩම් භුක්තිය, බෙත්‌හේත්, මාළිගාවේ පූජා විධි, ගම්වර ප්‍රධානය, කුල බෙදීම්, උඩරට රාජධානියේ සෑම ගමක් නගරයක් ගැනමත් තොරතුරු මනාව සදහන් වෙනවා කියලා මම තේරුම් ගත්තේ සීයා පප්පා කියලා දුන්නු කතාවලින් ම තමයි. අපේ රට ඉස්සර කොච්චර ලස්සනට තියෙන්න ඇද්ද? වලව්කාරකමේ අභිමානයත් මේ ලස්සන එක්කම බැදුණු දෙයක් නොවෙයි ද? මේක වංශේ කබල් ගෑමක් කියලා කිව්වට මේ උරුමය අපේ ලේවල තියෙන වෙනම දෙයක් ද කොහේද..
මෙලෙස පුස්කොළ පොත් තිබූ පෙට්ටගම විවෘත කිරීමත් සමග ම දුර ගොස් සිටි මගේ මනෝකාය යලි පියවි ලොවට ආවේ සීයා පප්පගේ ආමන්ත්‍රණයත් සමගයි.
"ඉලන්දාරියා..මම හිතුවා හරි. සද්දයක් නැති කොට මට එකත් එකටම හිතුනා මේ කාමරේට වෙලා මොනවා හරි පෙරලා පෙරලා ඇති කියලා... මොනවද අද හොයා ගත්තේ?"
"සීයා පප්පා මොකද්ද මේ ලොකු පොත?" මම එතන තරමක් විශාලත්වයක් වැඩි පුස්කොළ පොතක් සීයා පප්පාට දික් කරමින් විමසුවෙමි.
"සුදු පුතේ මේක තමා මේ මුළු සෙංකඩගලින් භාගෙකටත් වඩා වැඩි කොටසක ගම් නගරවල නම් හැදුන හැටි තියෙන්නේ"
"පට්ටනේ සීයා පප්පේ"
"මොකක් කිව්වා"
"නෑ නෑ සීයා පප්පේ මම මේ කිව්වේ මරු කියලා"
"මතක තියා ගනින් සුදු පුතේ උඹ මේ සූරියබණ්ඩාර වලව්වේ උරුමක්කාරයෙක් කියලා. ඔය නොසන්ඩාල වචන පුරුදු වෙනවා එහෙම නෙවෙයි. මෙතන ඉන්න තිබුණේ අපේ මැණිකේ. එහෙනම් ඉලන්දාරියට අද ඉන්න හම්බෙන්නේ නෑ"සීයා පප්පා එසේ පැවසුවේ මදක් උස් හඩින් සිනාසෙමින්.
"සමාවෙන්න සීයා පප්පා. සීයා පප්පේ මට අද ඔය පුස්කොළ පොතෙන් කතාවක් කියලා දෙන්නකෝ."
"ම්ම්ම් එහෙනම් යමුකො බලන්න පල්ලෙහා පැත්තට..
ඔන්න අපේ මැණිකෙත් සුමනත් එක්ක එකතු වෙලා ඉලන්දාරියට රස කෑමක් හදනවා මයේ හිතේ"
"ෂා.... ග්‍රැනී මට ආදරෙයිනේ."
මම සීයා පප්පාට පෙර තරප්පු පෙළ බැස, පුස්කොළ පොතද වම් අතෙහි තබා ගෙන බස්තම ගසමින් තරප්පු පෙළ බසින සීයා පප්පා දෙස බලා සිටියේ උඩු රැවුලෙන් තව තවත් වැඩි වෙන ඒ තේජාන්විත බව මෙනෙහි කරමින්. වෙනදා නම් සීයා පප්පගෙන් හරි ග්‍රැනීගෙන් කතා අහන්න පුරුදු වෙලා හිටියේ මැද මිදුලේ බංකුව උඩ ඉදන්. ඒත් අද උදේ ඉදන් වැස්ස නිසා එළියට යන්න විදිහක් නෑ. ඒ නිසා සීයා පප්පා කෑම කාමරෙයේ තිබුණ විශාල මේසයේ තම මුල් අසුනෙහි හිද ගත්තේ ය. මම ද ඔහු අසලින් ම වූ පුටුව ඇද ඉද ගත්තෙමි. ඒත් සමගම සීයා පප්පා දිගු සුසුමක් ඇද එය පහත හෙලමින් පුස්කොළ පොතෙහි පිටු එකිනෙක පෙරලන්නට විය.
"සුදු පුතේ.."
"සීයා පප්පේ"
"මේ තියෙන්නේ කුණ්ඩසාලේ ගම හැදුන හැටි"
"කෝ..." මම ඒ දෙසට බෙල්ල දිගු කළෙමි.
"දැන් ඔය බෙල්ල දික් කරාට මේකේ පින්තූර නෑ සුදු පුතේ.." සීයා සිනාසෙමින් කීවේ ය.
"හරි හරි ඉතිං මම නිකන් බැලුවේ.කියන්නනකෝ සීයා පප්පේ ඉතිං ඒ කතාව.."
"මේන් මෙහෙමයි පුතේ...
අපේ මේ සෙංකඩගලින් සැතපුම් 4ක් පෙරදිග මහවැලි ගගේ වම් ඉවුරේ තමයි ඕං කුණ්ඩසාලේ පිහිටලා තියෙන්නෙ.මේ කුණ්ඩසාලෙට නම හැදිච්ච විදිය බොහොම හාස්කමක් සුදු පුතේ..මේක මේ ආවට ගියාට සිද්ධ වුන දේකුත් නෙවෙයි.ජ්‍යෝතිශ ශාස්ත්‍රයේ එන මහා බලගතු පෙරනිමිති වලට අනුව සිද්ධ වුන දෙයක්. මේ කුණ්ඩසාලේ නම හැදිච්ච තැනට පුතේ අපේ රටේ ඇත්තෝ විතරක් නෙවේ ජම්බුද්වීපේ,,ඒ කියන්නේ දඹදිව ජ්‍යෝතිශ්‍යවේදියෙකුත් සම්බන්ධයි.
දවසක් දඹදිව ජ්‍යෝතිශ ශාස්ත්‍රයේ දක්ශ බ්‍රාහ්මණ පණ්ඩිතයෙක් ග්‍රහචාර ගනිමින් සිටින අතරතුර පෙරනිමිත්තක් දකිනවා. මොකක්ද දන්නවද සුදු පුතේ..ග්‍රහ යුද්ධෙකදි ශනි දේවතාවාගේ කුණ්ඩලාභරණයක් ගැලවිලා වාලුකා නදියේ ඒ කියන්නෙ පුතේ මහවැලි ගගේ එක් තැනකට වැටෙන බව දැක්කලු..."
මම සීයා පප්පගේ කතාවට බාධා කරමින්,
"සීයා පප්පේ, කුණ්ඩලාභරණයක් කියන්නෙ මොකක්ද"යැයි ඇසුවෙමි.
"සුදු පුතේ, කුණ්ඩලාභරණයක් කියන්නේ කනේ පළදින ආභරණයක්.."
"ම්ම් හරි හරි දැන් කතාව කියන්න සීයා පප්පේ.."
"ආ....මම කතාව කොතනින්ද නැවැත්තුවේ,මේ මේ කුණ්ඩලාභරණය මහවැලි ගග පැත්තට වැටිච්ච තැනින් නේද? ඔන්න ඔහොම පෙරනිමිති දැක්ක බමුණාගේ ගණිත දැනුම අනුව එතුමා දැනගන්නවා මේ කුණ්ඩලාභරණය වැටෙන්නේ ගුරුදෙණිය කියන ගමට කියලා.
ඊට පස්සෙ මේ කුණ්ඩලාභරණය සොයන අදහසින් මේ බමුණා ගුරුදෙණිය ගමේ පන්සලට ඇවිත් නවාතැන් ගන්නවා. මෙහෙම ගුරුදෙණිය පන්සලේ ඉන්න අතරතුර මේ බමුණා කුණ්ඩලාභරණය නිවැරදිව වැටිච්ච තැන සොයාගන්න දිවා රෑ නොබලා පූජා පවත්වලා තියෙනවා. මෙච්චර මහන්සියෙන් දිවා රෑ ස්තෝත්‍ර කියමින් මේ බමුණා කරන්න යන්නේ මොකක්ද කියලා ගුරුදෙණිය පන්සලේ අපේ ලොකු හාමුදුරුවන්ට සැකයක් ඇති වෙලා තියෙනවා. සුදු පුතේ, ඒ කාලෙ පන්සලේ ලොකු හාමුදුරුවෝ තමයි නැකැත් තුලා බලලා, බේත් හේත් කරලා, අව්වෙන් වැස්සෙන් ගම ආරක්ෂා කරගන්න පිරිත් කියලා ගම්මුන්ව ආරක්ෂා කළේ. ඒ කාලේ පන්සලේ ලොකු හාමුදුරුවෝ නොදන්න සාත්තරයක් නෑ.."
මම සීයා පප්පාගේ කතාවට බාධා නොකරමින් ඔහු කටින් පමණක් නොව ඇස් වලින් ඉරියව් වලින් පවා ඒ කියාපාන කතාව ඉතා ආසාවෙන් අසා සිටියෙමි.
"ඉතින් ලොකු හාමුදුරුවෝ මේ බමුණගෙන් ඇහුවා ඔය ගැන. ඊට පස්සෙ බමුණා තමා දුටු පෙරනිමිත්තත් සමග සියලු කතාව ලොකු හාමුදුරුවන්ට කීවා..ඒත් මේ බමුණා දන් නෑ ලොකු හාමුදුරුවෝ තමාටත් වඩා දක්ශ නක්ෂත්‍රවේදියෙක් කියලා. මේ කරුණු සාවධානව අහගෙන හිටපු ලොකු හාමුදුරුවෝ තමාගෙ දැනුමෙන් මේ කුණ්ඩලාභරණය වැටෙන නිශ්චිත වෙලාව දැනගන්නවා. කොහොම කොහොමහරි සුදුපුතේ,නියමිත වෙලාවට ග්‍රහ යුද්ධය සිද්ධ වෙනවා. මේ කුණ්ඩලාභරණය හොයාගන්න කැලේ කූඩාරම් ගහගෙන හිටපු බමුණා දැන ගන්නවා කවුරුන්ම හරි එය ඇහිදගෙන ගිහින් කියලා.ඒ විතරක් යැ,මේ සිද්ධියෙන් සන්තාපයට පත්වෙච්ච බ්‍රාහ්මණයා මහවැලි ගග අසබඩ සිය දිවි නසාගත්තා කියලා තමා සදහන් වෙන්නේ.."
"සීයා පප්පේ,එතකොට කව්ද කුණ්ඩලාභරණය ඇරගෙන තියෙන්නේ?කොහොමද කුන්ඩසාලෙ නම හැදුනෙ?..""ඉතින් ලොකු හාමුදුරුවෝ මේ බමුණගෙන් ඇහුවා ඔය ගැන. ඊට පස්සෙ බමුණා තමා දුටු පෙරනිමිත්තත් සමග සියලු කතාව ලොකු හාමුදුරුවන්ට කීවා..ඒත් මේ බමුණා දන් නෑ ලොකු හාමුදුරුවෝ තමාටත් වඩා දක්ශ නක්ෂත්‍රවේදියෙක් කියලා. මේ කරුණු සාවධානව අහගෙන හිටපු ලොකු හාමුදුරුවෝ තමාගෙ දැනුමෙන් මේ කුණ්ඩලාභරණය වැටෙන නිශ්චිත වෙලාව දැනගන්නවා. කොහොම කොහොමහරි සුදුපුතේ,නියමිත වෙලාවට ග්‍රහ යුද්ධය සිද්ධ වෙනවා. මේ කුණ්ඩලාභරණය හොයාගන්න කැලේ කූඩාරම් ගහගෙන හිටපු බමුණා දැන ගන්නවා කවුරුන්ම හරි එය ඇහිදගෙන ගිහින් කියලා.ඒ විතරක් යැ,මේ සිද්ධියෙන් සන්තාපයට පත්වෙච්ච බ්‍රාහ්මණයා මහවැලි ගග අසබඩ සිය දිවි නසාගත්තා කියලා තමා සදහන් වෙන්නේ.."
"අනේ අනේ ඉලන්දාරියෝ..!වෙන කවුද ඉතිං,ගුරුදෙණිය පන්සලේ ලොකු හාමුදුරුවෝ මිසක්. ඉස්සර පුතේ මේ පොළවේ තියෙන හැම දෙයක්ම අයිති වුනේ රටේ රජතුමාට. ඉතිං ඔය අහසින් වැටුන කුණ්ඩලාභරණෙත් අයිති වෙන්න ඕන රජතුමාටම තමා. ඒ නිසා අපේ ගුරුදෙණියේ ලොකු හාමුදුරුවෝ ඒ කාලේ රජකම් කරපු පළවෙනි විමලධර්මසේන රජතුමාට ඔය කුණ්ඩලාභරණේ භාරදීලා තියෙනවා. රජතුමා ඒකෙන් ප්‍රීතියට පත්වෙලා අපේ රට අදටත් ආරක්ශා කරන දළදා හාමුදුරුවෝ වඩා හිදුවන්න කුණ්ඩලාභරණෙන් රත්තරනින් පළා පෙත්තක් හදලා කියලා තමයි ලියවෙලා තියෙන්නෙ...ඒ විතරක් නෙවෙයි සුදුපුතේ,ගුරුදෙණිය කදු මුදුනට වැටුනයි කියන ඔය කුණ්ඩලාභරණය විසිවෙලා ගිහින් වැටෙන්නේ මහවැලි ගගේ වම් ඉවුරේ තියෙන 'සාලා' කියන ප්‍රදේශයටලු. ඉතින් කුණ්ඩලාභරණය තිබුණ සාලා ප්‍රදේශය පස්සේ කාලෙක 'කුණ්ඩසාලේ'නමින් ප්‍රසිද්ධ උනා කියලා තමයි තියෙන්නේ"
"ඔන්න ඔහොමයි එතකොට කුණ්ඩසාලෙට ඒ නම ලැබිලා තියෙන්නේ..ඒක හරි ශෝක් කතාවක් නේද සීයා පප්පේ..මම ආසයි ඒ ගැන තවත් හොයන්න.ඔය කියන ජ්‍යෝතිශවේදය,නක්ෂත්‍ර ශාස්ත්‍රය ගැන එහෙම" "ඔය නක්ෂත්‍රය,ජ්‍යෝතිශවේදය ගැන එහෙම ලියවුන ඕනතරම් පුස්කොළ පොත් ඇති පුතේ ඔය කාමරේ. අපි හොයාගමුකෝ දවසක"සීයා පප්පා පැවසුවේ සිනා මුසු මුහුණෙනි.
"සීයගෙයි මුණුපුරාගෙයි කතාව ඉවරනම් දැන් එනවද තේ බොන්න..?"
ග්‍රැනී මේසය මත වූ වැලිතලප පිගානක් පෙන්වමින් කීවාය. කිතුල් පැණි දමා සාදන ලද වැලිතලප දුටු මගේ කටට කෙළ උනන්නට විය.
"යමු සුදු පුතේ,තේ බොමු. අපි ඔය ගැන තව විස්තර ටිකක් හොයමුකො ම්ම්" කියමින් සීයා පප්පා පුටුවෙන් නැගිට්ටේ මගේ පිටටද තට්ටුවක් දමමිනි.
මේ වගේ සෙංකඩගල ඉතිහාසය ගැන සැගවිලා තියෙන කතන්දර තව කොච්චරනම් ඇද්ද..මේ සූරියබණ්ඩාර වලව්වේ ඉතිහාසයත් මේ වගේම ලස්සන ඇති. සූරියබණ්ඩාර වලව්ව මූලික කරගනිමින් නුවර කලාවියේ ඇති මෙවැනි ගම් නගර ගැන වූ ජනප්‍රවාද ඇසුරෙන් පොතක් ලිවීමට මට ද සිත් විය. මේ අදහසත් සිතේ රදවාගෙන මම පුටුවෙන් නැගී සිටියේ ග්‍රැනීගේ වැලිතලප කෑල්ලක රස බලන්නටය...